අපේ දැක්ම


නැණ සරින් හෙබි , ගුණ දමින් බැඳි, සුධීර පියරතන දූ පුතුන් දැයට දායාද කිරීම.


අපේ මෙහෙවර


නව අධ්‍යාපන ප්‍ර වේශයකින්, ශික්ෂණය මුසු වූ ,ක්‍රීඩා කෞශල්‍ය යෙන් හෙබි, නව ලොවට සරිලන තාක්ෂණ දැනුමින් හා නිර්මාණශීලිත්වයෙන් සුපෝෂිත, නිදහස් චින්තනයට නැඹුරු වූ, කරුණා, මෛත්‍රිය, සංහිඳියාව තුලින් මනු ගුණ දම් රකින නිවුනු සිත් ඇති පුරවැසියන් පියරතන බිමෙන් සමාජගත කිරීමට දායක වීම.


අභිමතාර්ථ :

1. අ.පො.ස. සා පෙළ සාධන මට්ටම76% සිට 79% දක්වා සංවර්ධනය කිරීම.

2. අ.පො.ස. උසස් පෙළල ප්‍රතිඵල සංවර්ධනය කිරීම තුළින් විශ්ව විද්‍යාල ප්‍රවේශය වැඩිකිරීම.

3. සමාජ ප්‍රගමනය සදහා දායක වන කාර්යයන් සදහා අධ්‍යාපනය තුළින් සිසු හැකියා සංවර්ධනය කිරීම.

4. ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් සිසුන්ගේ මානසික හා ශාරීරික සුවය ප්‍රවර්ධනය කිරීම.

5. අනාගත වැඩ ලෝකයට සරිලන හා සීඝ්‍රයෙන් සිදුවන සමාජ වෙනස්කම් වලට අනුගත විය හැකි

6. සමතුලිත පෞරුෂයක් හා නිර්මාණශීලී අංග ලක්ෂණ සිසුන් තුළ සංවර්ධනය කිරීම.

7. සමාජානුයෝජනය තුළ යුක්තිය, සමානාත්මතාවය හා අන්‍යොන්‍ය අවබෝධය තුළින් වගකීම් හා වගවීම සහිත ධනාත්මක චින්තන ශක්තීන් සංවර්ධනය කිරීම.

8. මානුෂීය ගුණාංගයන් ප්‍රදර්ශනය කරන සංයමයෙන් යුත් දරු පරපුරක් රටට දායාද කිරීම.

9. ඵලදායී අධ්‍යාපනයක් සදහා ප්‍රියමනාප ඉගෙනුම් පරිසරයක් සැකසීම.




                         1815 දී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු මෙරට පැවති බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිරිහී ගිය  අතර රට පුරා මිෂනාරී පාසල් ව්‍යාප්ත විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් මිෂනාරීන්ගේ ලංකා සභාව මුල් වී පාදුක්ක ප්‍රදේශයේ ලියන්වල ග්‍රාමයේ ද ක්‍රිස්තියානි පල්ලියක් ඉදි කළ අතර එය කේන්ද්‍ර කර ගනිමින් මිෂනාරී පාසල් කිහිපයක් ආරම්භ විය. මෙවන් පසුබිමක බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අවශ්‍යතාවය හඳුනා ගත් කුරුගල පියරතන ස්වාමීන් වහන්සේ එවකට පොලිස්පති ධූරය හෙබ වූ හර්බට් ඩවුබදීන් මහතාගේ මෑණියන්ගේ ද පූර්ණ අනුග්‍රහය ඇතිව පාදුක්ක ප්‍රදේශයේ ප්‍රථම බෞද්ධ පාසල ආරම්භ කිරීමට නායකත්වය ගත්තේය.1894 සැප්තැම්බර් 2 වන දා පාදුක්ක මොරගහතැන්න විහාරස්ථානය පසුබිම් කර ගෙන ගුරු මණ්ඩලය තිදෙනෙකු සමගින් මෙම බෞද්ධ පාසල ආරම්භ විය.
                        1897 මැයි මස 01 වන දා පාදුක්ක නගර මධ්‍යයේ දැනට ටෙලිකොම් ආයතනය පවත්වාගෙන යන ඉඩමට යාබද ඉඩමේ පොල් අතු සෙවිලි කළ කුටියක් වෙත ගෙන ආ මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස ජනප්‍රියත්වයට පත් විය.ඉන් පසුව එනම් 1908 දී එක් ගොඩනැගිල්ලක් සහිත වත්මන් භූමිය වෙත පාසල රැගෙන එන ලදී.එතැන් සිට ක්‍රමානුකූල ව භෞතික සම්පත් සංවර්ධනය කර ගනිමින් ඉදිරියට ආ මෙම පාසල 1911 දී පාදුක්ක කණිෂ්ඨ විද්‍යාලය ලෙස රජයට පවරා ගන්නා ලදී.මුල් කාලයේ දී විද්‍යෝදය සමීතිය නම් සංවිධානයකින් නඩත්තු වූ මෙම පාසල හැදින් වූයේ විද්‍යෝදය පාසල නමිනි.පසුව එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ අයි.එම්.ආර්..ඊරියගොල්ල මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ගෙන් පසු පියරතන හිමියන්ට කරන කෘත ගුණ පිදීමක් ලෙස සිරිපියරතන විද්‍යාලය ලෙස නම් කෙරිණි.
                        1970 දී උසස් පෙළ කලා,වාණිජ අංශයන් ද 1976 දී විද්‍යා අංශය ද මෙම විද්‍යාලයේ ආරම්භ විය.1991 ජූලි 01 වන දා එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වන ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාන විසින් මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයනක් බවට පත් කළේය.ඒ සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු සුරනිමල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම ද කැපී පෙනෙයි.එවකට විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ එම්.එම්.ඩී.ධර්මසේන මැතිතුමා ය.ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරු 26 දෙනෙකුගේ නායකත්වය හා කැපවීම යටතේ සියවසකට අධික ගමන් මගක් ගෙවා ආ සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය තවත් සියවස් ගණනාවක් පාදුක්ක නගර මධ්‍යයේ විරාජමාන ව වැජඹෙන බව නම් නොඅනුමානය.
1.1.2 වත්මන් ඇරඹුම

                        ශ්‍රී ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල නාමාවලියට එක් වන සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයේ මැද පත්තුවේ පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකි.හෝමාගම කලාපයේ 6-13 ශ්‍රේණිවල පාසල් අතරින් වැඩිම සිසුන් සංඛ්‍යාවක් සිටින්නේ මෙම පාසලේ ය.උසස් පෙළ කලා,වාණිජ, විද්‍යා, තාක්ෂණ අංශ සඳහා පමණක් නොව 2019 වර්ෂයේ සිට දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ද මෙම පාසලට සිසු දරු දැරියන් ඇතුළත් කර ගනියි.ඊට අමතර ව 2010 වර්ෂයේ සිට 6 ශ්‍රේණියට සිසුන් ඇත්ළත් කර ගැනීම අනුබද්ධ කණිෂ් විද්‍යාල 6කින් පමණක් සිදු කරන අතර ශිෂ්‍යත්වය සමත් කිසිවකු ඇතුළත් කර නොගැනීම විශේෂත්වයයි.එම සංකීර්ණ වූ අභියෝගය ජය ගනිමින් ප්‍රදේශයේ ආදර්ශමත් පාසලක් ලෙස ගුරු,සිසු,දෙමාපිය,ආදි සිසු මෙන්ම අවට ප්‍රදේශවාසීන්ගේ ද නොමඳ ගෞරවයට පාත්‍ර වෙමින් පවතී.වසරින් වසර සාමාන්‍ය පෙළ,උසස් පෙළ ප්‍රතිඵල ක්‍රමික සංවර්ධනයකට ලක් වෙමින් කලාපයේ කැපී පෙනෙන පාසලක් බවට පත් වීමට ද මේ වන විට අප පාසලට හැකි වී ඇත.
                        අධ්‍යාපනික ජයග්‍රහණයන්ගෙන් පමණක් නොව විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ද මෙම පාසල කැපී පෙනෙයි. ක්‍රිකට්,රගර්,මළල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් 16 ක් ඔස්සේ සමස්ථ ලංකා,ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණයන් ලබා දෙමින් සිරිපියරතන නාමය දිදුලවීමට පාසලේ ක්‍රීඩා අංශය මේ වන විට සමත් වී ඇත.ඊට අමතර ව ශිෂ්‍ය භට බාලක බාලිකා,බාල දක්ෂ බාලක බාලිකා, පරිසර භට  ආදී කණ්ඩයන් පාසලේ අභිමානයට සාක්ෂි සපයමින් සිටී.තූර්ය වාදන කණ්ඩායම් 5ත් ඇති කලාපයේ එකම පාසල වීමේ ගෞරවයට ද අප උරුමකම් කියයි.නැටුමෙන් ගැයුමෙන්,වාද විවාදයෙන්, වේදිකාවෙන්, නිවේදනයෙන්, නිර්මාණශීලී බවින්,නව නිපැයුම්වලින් ලොවක් ජය ගන්නට සමත් දිරිය දූ පුතුන් දැයට දායාද කිරීමට මේ වන විටත් අප පාසල සමත් වී ඇත.
                        අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්යය වන්නේසිසු දරු දැරියන්ගේ චරිත සංවර්ධනය ඇති කිරීමත් ඔවුන්ගේ විභව්‍යතා හඳුනා ගනිමින් නූතන ලෝකයේ අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දිය හැකි පූද්ගලයන් බිහි කිරීමත් ය.එම ගෞරවනීය මෙහෙවර මේ වන විටත් සිරිපියරතන විද්‍යාලය ඉටු කරමින් සිටින්නේනැණසරින් හෙබි ගුණ දමින් බැඳි සුධීර දූ පුතුන් දැයට දායාද කිරීම යන අරමුණ පෙරදැරි කර ගනිමිනි.කුරුගල පියරතන ස්වාමීන් වහන්සේගේ දැක්ම හා චින්තනය ඉදිරියට ගෙන යමින් අධ්‍යාත්මික සංවර්ධනයට යොමු වූ ආගමික වැඩසටහන් ද පාසල තුළ ක්‍රියාත්මක වෙයි. පාසලෙන් ප්‍රජාවටත් ප්‍රජාවෙන් පාසලටත් අනෝන්‍ය අවශ්‍යතා ඉටුකරමින් පරාර්ථකාමීමෙහෙවරක යෙදී සිටින සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය හෝමාගම කලාපයේ පාසල් අතර පළමු තැනෙහිලා සැලකිය හැකි වන්දනීයත්වයට පාත්‍ර වූ විදුහල් මාතාවකි.

No comments:

Post a Comment